රන්ගිරි දඹුලු විහාරය







දඹුල්ල රජ මහා විහාරය




ශ්‍රී ලංකාව තම ජාතික උරුමයන් අතින් ගත්කල ඉතා ඈත අතීතයකට දිව යන්නාවූ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නාවූ රටකි. ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව, සීගිරි බිතු සිතුවම් , අළු විහාරය, ගඩලාදෙණිය , ආදී බොදු උරුමයන් එකී ප්‍රෞඩත්වය විදහාපාන්නා වූ කදිම උදාහරණ වේ. මේ අතරින් දඹුල්ල රජමහා විහාරය සුවිශේෂී වූ උරුමයකි.


දඹුලු ලෙන් විහාරය නැතහොත් දඹුල්ල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් විහාර සංකීර්ණයකි. කොළඹ දෙසින් 140 km ඊසාන දෙසින් හා මහනුවරට 72 km උතුරු දෙසින් මෙම විහාර සංකීර්ණය දක්නට ලැබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ ඇති විශාලතම හා හොඳින් සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය මෙය වීමයි. මෙහි දක්නට ලැබෙන්නාවූ හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය 160 km අහස උසට පැනනගී. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් අසූවකට වැඩි ගණනක් ඇත. මේ අතුරින් පිළිම සහ සිතුවම් අඩංගු ලෙන් 5 ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත.


මෙම සිතුවම් හා පිළිම බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුන ඒවා වෙති. බුදුපිළිම වහන්සේලා 153 කින්ද ශ්‍රී ලාංකීය රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද දෙවි දේවතා පිළිම 4 ක් ද මෙහි වෙති. වර්ග මීටර 2100 ක පැතිර පවතින බිතු සිතුවම් තුලින් මාර යකු විසින් බුදුරදුන් පෙළඹවීමට ගත් තැත හා බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව දක්නට ලැබෙයි.


මෙම විහාරයෙහි ඉතිහාසය දෙස බලන කල්හි ඉතා දුර අතීතයකට හිමිකම් කියයි. විහාර සංකීර්ණය අසබඩ ඉබ්බන්කටුව ප්‍රදේශයෙහි වසර 2700 කට වඩා පැරණි ( ක්‍රි. පූ. 700) මානව ඇටසැකිලි සහිත සුසානභූමි හමුවීම , බුදුදහම ලංකාවට අවතීර්ණ වීමට පෙරාතුව මෙම ලෙන් සංකීර්ණය තුල ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලාංකිකයින් දිවිගෙවූ බවට අනුමාන කල හැකිය.







ක්‍රි.පූ. 07 වන සියවස තරම් ඈත අතීතයකට හිමිකම් කියන මෙම චමත්කාරජනක ලෙන් විහාරය සුවිශේෂී පර්වත තලයකින් ආවරණය වී ඇති අතර ඇතුලත බිත්ති වැසි අධික කාලයන්හි පමණක් නොව පර්වත මුදුනින් ගලායන්නා වූ ජල උල්පත් මගින්ද වියළිව තබාගනුවස් ගලෙහි පිටත ඉහල මායිමේ කටාරම් කොටා ඇත. මෙම ලෙන් සමූහය 1938 දී ආරුක්කුමය කුළුණු පෙළකින් හා දෙපල වහලින් සැදි දොරටු වලින් සරසන ලදී. ලෙන අභ්‍යන්තරයෙහි සිවිලිම ( වියන) සංකීර්ණ ආගමික රටාවන් උපයෝගී කරගනිමින් සිත්තම් කර ඇත්තේ පර්වත ශිඛරයෙහි හැඩය හා සමෝච්චය අනුව යමිනි.


දඹුල්ල ලෙන් සංඝාවාසය ශ්‍රී ලංකාවේ ඉතාමත් හොඳින් සංරක්ෂිත අදටත් කෘත්‍යාත්මකව පවතින පුරාතන ප්‍රාසාදය වෙයි. මෙම ලෙන් සමූහය වලගම්භා රජු විසින් ක්‍රි. පූ. 1 සියවසේදී විහාරයක් බවට පත්කල බවට විශ්වාසයක් පවතී. අනුරාධපුරයෙන් පිටුවහල්ව සිටි වලගම්බ රජුට දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් ගැලවුම සඳහා ආරක්ශාව සැපයී ඇත්තේ මෙම ලෙන් මගිනි. පසු කාලීන රජවරුන් විසින්ද මෙහි සංවර්ධනයට දායකව නවාංග එකතුකල අතර නිශ්ශංකමල්ල රජු විසින් වසර 1190 දී ලෙන්හි රන් ආලේපිත කොට බුදුපිළිම වහන්සේලා 70 නමක් පමණ එකතුකල බව පැවසේ. 18 වන සියවසේදී උඩරට රජුන් විසින්ද මෙම් ලෙන් අලුත්වැඩියා කොට පින්තාරු කරවනලදී.


මෙහි ඇති ලෙන් ගැන සලකා බලනවිට පිළිම ගෙවල් බවට පත් කරනලද ලෙන් 05 කි. දේවරාජලෙන මහරජුන්ගේ ලෙන මහා අලුත්විහාරය සහ තවත් කුඩා ලෙන් දෙකකින් යුක්ත වූ මෙම ලෙන් 05 විවිධ සිතුවම් සහිත චමත්කාර සංකීර්ණයකි. වර්ශ 1991 දී යුනෙස්කෝ සංවිධානය මගින් ආසියා ශාන්තිකර කලාපයේ පවතින සංස්කෘතික ලෝක උරුම අඩවියක් බවට මෙම ලෙන් විහාර කොටස පත් කොට ඇත.








දේවරාජලෙන හෙවත් දිව්‍යමය රජුන්ගේ ලෙන නමින් හඳුන්වනු ලබන පළමු ලෙන තුල බ්‍රාහ්මීය අක්ශර උපයෝගීකොටගෙන සටහන් කරන ලද සංඝාවාසය ඉදිකිරීම පිළිබඳ තොරතුරු දක්නට ලැබේ. මෙහි වූ බුද්ධ ප්‍රතිමාවහනන්සේ අඩි 45 ක් පමණ වන අතර පූජ්‍ය ආනන්ද තෙරුන්වහන්සේගේ ප්‍රතිමාවක්ද දක්නට ලැබේ.


මහරජුන්ගේ ලෙන හෙවත් මහාරාජ ලෙන වලගම්බා රජුගේ හා නිශ්ශංකමල්ල රජුගේ ප්‍රතිමා සහිත වේ. ලී වලින් තනවන ලද මෙම ප්‍රතිමා සහ තවත් ප්‍රතිමා 60 ක්ද එහි දක්නට ලැබේ. මෙම ලෙන තුල බුද්ධ ප්‍රතිමා වහන්සේලා 11 නමක් සමග වට ස්ථූපයක්ද ඇත. සමන්, උපුල්වන්, මෛත්‍රී හා නාථ යන දෙවියන්ගේ ප්‍රතිමාද මෙහි ඇතුලත්‍ ය. මෙම ලෙන තුල ජල බිංදු වස්සවන දිය බුබුළක්ද සහිතය. රෝග සුව කිරීමේ බලයක් මෙහි ඇති බව විශ්වාසය. මෙම ජල බුබුලෙහි දිය සොභාදහමට පටහැනිව පියස්සෙහි බෑවුමට ඉහලට ගමන් කරයි. ඉන්පසුව පහලට පතිතවන බව බැලූ බැල්මට පෙනෙන බැවු දුටු පැරැන්නෝ එදෙසට මසුන්ගේ රූ පින්තාරු කර ඒ බව හුවා දක්වා ඇති ආකාරය දක්නට පුලුවන.






මහා අලුත් විහාරය නොහොත් තෙවන ලෙන මහනුවර මාදිළියට අයත් බිතුසිතුවම් වලින් හා කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජප්‍රාප්තිය අතරතුර එකතු වූ සිතුවම් වලින්ද යුක්තය. මීට අමතරව බුද්ධ ප්‍රතිමා වහන්සේලා 50 නමකින්ද සමන්විතය. අනෙක් ලෙන් තරමටම පැරණි නොවූ 4 හා 5 ලෙන් එතරම් උසස් තත්වයක නැත. සිංහල මූර්ති ශිල්පයේ හා සිංහල කලාවේ විවිධ යුගයන් විදහාපාන පිළිම හා සිතුවම් මෙම ලෙන් තුල දක්නට ඇත. බුදු සිරිත දැක්වෙන සිතුවම් 1500 ක් පමණ මෙහි තිබේ. මෙම රජමහා විහාරයේ වර්තමාන භාරකාරීත්වය විහාරස්ථාන 04 කට අයත් වේ. එනම් පළමු උයන්වත්ත පන්සල , දෙවන උයන්වත්ත පන්සල දඹුල්ල මැද පන්සල හා දඹුල්ල ඉහල පන්සලයි.


වර්තමානය වනවිට නිසි සංරක්ෂණයක් නොමැති වීම නිසා බිතු සිතුවම් විශාල ප්‍රමානයක් අභාවයට යමින් පවතින බවක් පෙනීයයි. මෙවන් ප්‍රෞඩ ඉතිහාසයක් ඇති දඹුල්ල රජමහා විහාරය රැකගැනීම අප සැමගේම යුතුකම වන්නේය.

©️නැණස.

Comments

Popular posts from this blog

රෝමියෝ ජුලියට්

ඇම්බැක්කෙ