උඩරට නැටුම්











උඩරට නැටුම් කලාව



උඩරට නැටුම් යනු ලක්දිව මධ්‍යම කඳුකර ප්‍රදේශයේ ආරම්භ වූ නැටුම් සම්ප්‍රධායකි. මේ වනවිට මෙය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිංහල ජනතාව අතර පුළුල්ව පැතිර ඇත.


පුරාවෘතයන්ට අනුව උඩරට නර්තනය ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වූයේ මෙරටට පැමිණි ඉංදියානු යකැදුරන් පිරිසක් පවත්වන ලද කොහොඹා කංකාරිය නම්වූ ශාන්ති කර්මය මගින් යැයි විස්වාස කෙරේ. ඔවුන් මෙරටට පැමිණීමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ කුවේණිය විසින් විජය රජුට සිදුකල දිවි දෝශය සුව කිරීම සඳහා බවයි. රජු සිහිනයකදී දිවියෙක් තමන්ගේ ඇඟට පනිනු දැක ඇත. එවකට පැවති විශ්වාසයන්ට අනුව එම සිහිනය කුවේණිය ගේ ශාපය තමා මත පතිත වීමක් යැයි සැළකූ රජු දරුණු ලෙස රෝගාතුර විය. කෙසේ නමුත් විජය රජුගෙන් පසු මෙම දිවි දෝශය පඬුවස්දෙවු රජුට වැළඳී ඔහු අසාධ්‍ය වූ හෙයින් යකැදුරන් ගෙන්වා කොහොඹාකංකාරිය ශාන්ති කර්මය පවත්වා ඇත. මින් රජුගේ රෝගය සම්පූර්ණයෙන්ම සුව වූ අතර බොහෝ ස්වදේශිකයන් ගේ අවධානයටද පත්විය.


මෙය මූලිකව ඉදිරිපත් කරන ලද්දේ උඩරට රාජ්‍ය ක්‍රමය විසින් නම් කරන ලද විරල කුලයක නැට්ටුවන් විසිනි. උඩරට නැටුම් වර්ග ලෙස වෙස් , නෛඅඩි , උඩැක්කි, පන්තේරු, වන්නම් වශයෙන් දක්වා ඇත.


වෙස් නර්තනය ලංකාවේ ඉතාමත් වැදගත් සංස්කෘතික අංගයකි. මෙය ලාංකීය අනන්‍යතාවය සංකේතවත් කරයි. මහා සම්මත රජ දවස ඔහුගේ විවාහය නිමිත්තෙන් මෙම වෙස් නර්ථනය මුලින්ම පවත්වා ඇති බව පොත පතේ සඳහන් වේ. වෙස් නැට්ටුවෙකුගේ ඇඳුම් කට්ටලය දෙවිවරු විසිහතර දෙනෙකුගේ ඇඳුම් ආයිත්තම් වලින් සකස් වූවක් බව නර්ථන කලාවෙ සඳහන් වේ.නුවර ශ්‍රී දළදා පෙරහැරේ අනිවාර්ය අංගයක් ලෙස වෙස් නැටුම ඉදිරිපත් කරයි.


නෛඅඩි නැටුම රඟදක්වන්නේ කොහොඹා කංකාරිය සඳහා සූදානම් වන අතරතුර, එනම් පහන් දැල්වීම, යකුන් පිසාචයන් උදෙසා පිදේනි පුදන අතරතුරය. මෙය මහා විෂ්ණු සහ කතරගම දේවාල භූමියන්හි, විශේෂ උත්සව අවස්ථාවලදී ඉදිරිපත් කරන සුන්දර නර්තනයකි.


උඩැක්කි නැටුම යනු ඉතා ප්‍රසිද්ධ නර්තනයකි. දෙවියන් විසින් දෙන ලදැයි කියන උඩැක්කිය අඟල් 7.1/2 පමණ දිගින් යුතු ඔපදැමූ බෙරයක හැඩැති වාද්‍ය භාන්ඩයකි. පුරාණ විශ්වාසයන්ට අනුව මෙහි බෙර සම ඊශ්වර දෙවියන්ගෙන්ද , නාදය විෂ්ණු දෙවියන්ගෙන්ද දායාද වන අතර එය වාදනය කල යුත්තේ ශක්‍ර දෙවියන්ගේ උපදෙස් වලට අනුව දේව සභාවේදීය. නැට්ටුවා විසින්ම ගායනයද සිදුකරන අතර බෙර පටි තද කරමින් හඬෙහි උස් පහත් වීම්වලට අනුව උඩැක්කිය වාදනය කල යුතුය.


පන්තේරුව පත්තිනි මෑනියන්ට වෙන් කෙරුන වාද්‍ය භාණ්ඩයකි. එය හැඩයෙන් බෙර සම් රහිත රබානකට සමාන වන අතර පරිධිය වටා කුඩා අත්තාලම් සවිකර ඇත. පැරණි සිංහල රජවරුන්ගේ යුද්ධ භූමියන්හි, ජයග්‍රහන සැමරීම සඳහා පන්තේරු නැට්ටුවන් යොදාගෙන ඇත. වන්නම් යනු ආරම්භයේදී ගායනා විශේෂයකි. පසු කාලීනව නැට්ටුවන් විසින් වන්නම් සිය නර්තනයන්හිදී පසුබිම් ගායනා ලෙස යොදා ගන්නා ලදී. උඩරට නැටුම් කලාවෙහි වන්නම් 18 ක් පමණ ඇත. ගජගා , තුරඟා, මයුරා, ගාහක, උරගා, මුසලඩි, උකුසා, වෛරොඩි, හනුමා, සැවුලා , සිංහරාජ, නාග, කිරලා, ඊරඩි, සුරපති, ගනපති, උදාර සහ අසදෘස යනුවෙනි. වර්ථමානයේදී සමණල , මහබෝ හා හංස යන වන්නම් ඇතුළත් වී ඇත.


වන්නම් යන වචනය සෑදී ඇත්තේ වර්ණනා යන සිංහල වචනයෙනි. මෙම වන්නම් 18 පුරාණ ඉසිවරයෙකු වූ ගතිකාලංකාර විසින් මහනුවර පංසලක විසූ හිමි නමකගේ සහය ඇතිව රචනා කල බව පැවසේ. ස්වභාවධර්මය, ඉතිහාසය, පුරාවෘත්ත , ගැමි ආගමික ඇදහිළි, ජනකලා පදනම් කරගෙන රචිත මෙම වන්නම්සෑම එකකින්ම කිනම් හෝ මනෝභාවයක් ඉදිරිපත් කෙරේ.


උඩරට නැටුමේදී ගැටබෙරය මූලික සංගීත උපකරණයයි. තවත් වාද්‍ය භාන්ඩයක් වූ තාලම්පට , කුඩා අත්තාලම් යුගලකින් සමන්විත වන අතර එය නැට්ටුවන්ගේ රිද්මය නිසිලෙස පවත්වාගැනීමට උපකාරී වේ.


පිරිමින්ට පමණක් ආවේනික ව තිබූ උඩරට නැටුම් කලාව 20 වන සියවස වනවිට කාන්තාවන් සඳහාද දායාද විය. නමුත් ගැහැණු නැට්ටුවන් උදෙසාම වන වෙස් ඇඳුම් කට්ටලයක් නැති අතර පිරිමි නැට්ටුවාගේ ඇඳුම් කට්ටලය කාන්තාවන්ට උචිත පරිදි වෙනස්කොට භාවිතයට ගනු ලැබීය.


සාමාජීය , දේශපාලන, හා ආර්ථික හේතූන් මත වර්ථමානයේ රඟ දක්වනු ලබන්නේ කොහොඹාකංකාරියේ කොටසක් පමණි. ශ්‍රී දළඳා පෙරහැරෙහි අදටත් සාම්ප්‍රධායික උඩරට නැටුම් බලාගතහැකිය.


1970 දී චිත්‍රසේන ඩයස් මහතා විසින් වේදිකාවට ගැළපෙනන පරිදි උඩරට නැටුම් කලාව සකස් කරනු ලැබූ අතරම නර්තනය වටා පැවති කුළබේධය අවම කිරීම වස් වත්මන් නාගරික ප්‍රේක්ශකයන්ට ගැලපෙන පරිදි රසවත් නාට්‍ය උඩරට නැටුම් ඇසුරු කරගෙන නිර්මාණය කරන ලදී.


මෙම නැටුම් කළාව අනාගත පරපුරට දායාද කර දෙනු පිණිස වර්තමාන නැට්ටුවා නිසිපරිදි එය රැක ගැනීම යුතු කමකි.

©️නැණස

සැකසුම ➖ ඉනෝකා අබේවික්‍රම

Comments

Popular posts from this blog

රන්ගිරි දඹුලු විහාරය

රෝමියෝ ජුලියට්

ඇම්බැක්කෙ