අධ්‍යාපන රටා.



ශ්‍රී ලාංකික අධ්‍යාපනය






ඕනම රටක ප්‍රධානම අංගයක් තමයි ඒ රටේ අධ්‍යාපන ක්‍රමය. රටක අනාගතය වෙනුවෙන් මූලික අඩිතාලම වැටෙන්නෙ මේක හරහා. ඒ නිසා අධ්‍යාපන ක්‍රමය කියන්නෙ ප්‍රායෝගික අධ්‍යාපනය එක්කම යාවත්කාලීන වියයුතු අංගයක්. ඒත් ශ්‍රී ලංකාව ගත්තොත් එදා මෙදා තුර තියෙන්නෙ එකම විදිය විශය නිර්දේශයක්, ආණ්ඩුව මාරු වෙන ගානෙ කොටස් කපා කොටා එක් කරන, ඒත් මූලික සිද්ධාන්ත එකම වෙන අධ්‍යාපන ක්‍රමයක්. ඒ ක්‍රමය තුල වෙනසක් මේ වනතුරුත් වෙලා නෑ.



යුරෝපය ඇතුලු බටහිර රටක් හෝ , සංවර්ධිතයි කියල සම්මත වෙන රටක් ගත්තොත් ඒ රටවල අධ්‍යාපන ක්‍රමයන් තුල මූලිකත්වය දී තිබෙන්නේ ප්‍රායෝගික අධ්‍යාපනයට. යම් විශයක් ගත්තොත් එකී විශයෙන් කෙරෙන්නාවූ කරුණු ප්‍රායෝගික අධ්‍යාපනය මගින් සනාථ කරණු ලබනවා. අපි උදාහරණයක් විදියට ගත්තොත් , පොතේ උගන්නන කාරණාව පාං හදන එකනම්, ඒ දරුවන් අදාල ගොවිපළවල් වල සංචාරයක නිරත වෙලා පාං හදන්න තිරිඟු වපුරන තැන ඉදලාම ප්‍රායෝගික අධ්‍යාපනය ලබා ගන්නවා.




මේවා එක වසරට නෙමේ ඊට කුඩා පෙරපාසැල් අධ්‍යාපනයේ ඉදන්ම කෙරෙන දේවල්. පංති කාමරය තුල උගන්වන හැම කරුණක්ම එකී ස්ථාන වලට යන්න බැරිනම් අඩුම වීඩියෝ පට හරහා හෝ නිසි දැනුම දරුවන්ට දෙන්න ඒ රටවල් නිරතුරුවම උත්සාහ ගන්නව. කුඩා ක්‍රියාකාරකම් මගින් දරුවන් තුල නිර්මාණශීලී පරිකල්පනයන් ගොඩනගනු ලබනවා.



නමුත් ලංකාව තුල තවමත් ක්‍රියාත්මක වන ගිරා අධ්‍යාපන ක්‍රමය තුල නිර්මාණශීලීත්වය කියන කාරණාව දරුවන්ගෙ මනසින් ගිලිහිලා රොබෝවෙක් පමණක් අන්තිමට ඉතුරු වෙනවා. අද ගත්තොත්, ලංකාව තුල තිබෙන තරඟකාරී වටපිටාව එක්ක, දරුවන් නොමරා මරණු ලබනවා. උදෑසන 7.30 ට පාසැල ආරම්භ වුනාට සමහර ළමයි පළවෙනි ටියුශන් පංතිය පටන් ගන්නෙ පාන්දර 4 ට. හතරෙ ඉදන් හය වෙනකල් පංතියෙ ඉගෙනගන්න ළමයා, ඊගාවට පාසැලට යනව. එතන 1.30 වෙනකල් ඉදලා ආපහු පෞද්ගලික පංති වලට යනවා. ගෙදර එන්නෙ බාගෙට මැරිලා හවස හයට , හෝ හතට. ඒ ඇවිත් වත් නිදහසක් ඒළමයින්ට තියනවද ? නෑ ඊගාවට තියෙන්නෙ පාඩම් කිරීම. අඩුම තරමින් මේ ළමයි දන්නෙ නෑ කුස්සියෙ බිත්තියෙ ගාල තියෙන්නෙ මොන පාටද කියන්නවත්. මිදුලෙ ගස් කොළන් තියනවද? අඩුම ගෙට වහලක් තියනවද කියන්න වත් මේ ළමයින්ට අවභෝදයක් නෑ. එහෙම එකේ අම්ම තාත්තා ගැන කල්පනාවක් කොහෙත්ම ළමයට ඇතිවෙන්න විදියක් නෑනෙ.



මෙහෙම ගිරා අධ්‍යාපයෙන් බිහිවෙන ළමය අන්තිමට නවතින්නෙ උම්මත්තක වෙලා. පරිසරය ගැන කිසිම අවභෝදයක් නැති, නෑදෑ හිත මිතුරු ඇසුරක් නැති, නාමික දරුවෙක්, එහෙම නැත්තන් ලමයෙක් වැනි රොබෝවෙක්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් තරඟකාරීත්වය විතරයි. එතනින් එහා ගිය මානව හිතවාදී කිසිම සංකල්පයක් මේ ළමයින්ගෙ ඔලුවල නෑ.


පොතෙන් එහා ලෝකයක් මේ ළමයි දන්නෙ නෑ. ළමයින්ගෙ හිතීමේ නිදහස යටපත් කරපු අධ්‍යාපන ක්‍රමයක් තුල විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ බිහිවේය කියල බලාපොරොත්තු වීමම එක අතකට විහිළුවක්. හිත්වල තියෙන්නෙ අනෙකාව පැරදවීම විතරයි. අනිත් කෙනාගෙ පොත හංගලා හෝ තමන් දිනන්න ඕනෙය කියල සිතුවිල්ල විතරයි. මේ තරඟකාරීත්වය එක්ක සාමාන්‍ය පෙළ කරන දරුවා ඊගාවට බලාපොරොත්තු වෙන්නෙ වෛද්‍යවරයකු හෝ ඉන්ජිනේරුවකු වෙන්න. එතනින් එහාට ලෝකයක් මේ දරුවන්ට නෑ. සමාජය අපිව දාල තියෙන්නෙ උගතෙක් නම් විය යුත්තේ ඒ දෙකෙන් එකක් පමණයි කියන තැනට. ඒ නිසා බොහෝවිට දරුවන් තමන්ගෙ සහජයෙන් ගෙනා බොහෝ දක්ශකම් හංගාගෙන රැල්ලට යනවා.


කෙසේහෝ වේවා ගිරා සංස්කෘතියට නතුව මේ ළමයි උසස්පෙළට ඉදිරිපත් වුනත් එතනදිත් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ ඒකෙන් සියයට ගානක් විතරයි. එතනින් හැලෙන අනෙක් දරුවන්ට සෑහීමකට පත්විය හැකි මට්ටමක නිසි ප්‍රමිතියක් සහිත මගපෙන්වීමක් නෑ. දරුවන් ඔවුන් විසින් ඔවුන්ගේ අනාගතයන් සැළැසුම් කරගෙන පෞද්ගලික අංශන්ගෙන් ඉදිරියට ගියොත් මිසක, රජය අනුග්‍රහයෙන් මේ දේවල් වෙනවා අඩුයි වගේම ඒ ගැන දැනුවත් කිරීම් වෙන තැනුත් අඩුයි. අනෙක උසස්තාක්ශන මධ්‍යස්තාන තිබුනා වුනත් ඒවා හරහා දරුවෙක්ට යන්න පුලුවන් සීමාවන් ඉතා ඉහල මට්ටමක තිබුනත් නිසි දැනුවත්කිරීමක් නැති කම නිසා දරුවන් මෙතනදි බොහෝ සේ අසරණ වෙනව.



මූලික වශයෙන් පාසල් අධ්‍යාපනය තුලදීම දරුවන්ගේ සහජ දක්ශතාවයන්ට නිසි ඇගයීමක් දෙන්න පුලුවන් නම් හා එවැනි දක්ශකම් ඔස්සේ දරුවන්ට ඉහලටම යන්නට පුලුවන් වාතාවරණයක් ප්‍රායෝගික මට්ටමෙන් දැන් තිබෙන අධ්‍යාපන ක්‍රමයටම ඇතුල් කරන්නට පුලුවන්කමක් තිබෙනවානම්, අනාගත පරපුරට සෑහෙන ප්‍රයෝජයක් වේවි. සාමාන්‍ය පෙළ මට්ටමේදීම දරුවාගේ දක්ශකම් ශ්‍රේණිගතකිරීම හා ඒ අනුව උසස් අධ්‍යාපනය සැළසුම් කිරීමේ ක්‍රමයක් ලංකාව තුල ස්ථාපිත කිරීම මගින්, විරැකියාවෙන් පෙළෙන අනාගතයක් ඇති නොකරගෙන සුරක්ශිත අනාගතයකට සිහින දකින්නට පුලුවන් වේවි.





Comments

Popular posts from this blog

රන්ගිරි දඹුලු විහාරය

රෝමියෝ ජුලියට්

උඩරට නැටුම්