මල් කැකුළු.



දරුවෙක්ට දරුවෙක් වෙන්න ඉඩ දෙන්න



මවු කුසකින් මේ ලෝකෙ එළිය දකින දරුවෙක්ගේ මනස අවර්ණ වතුර වීදුරුවක් වගේ. මේ අවර්ණ වතුර වීදුරුවට එක එක පාට , එක එක රස එක් කරන්නෙ වැඩිහිටි අපි විසින්මයි. දරුවෙක්ගෙ මනසට වෛරය එක් කරන්න පළවෙනි වෙඩිල්ල තියන්නෙ බොහෝ විට ඒ දරුවගෙ අම්ම , තාත්තා හෝ ලඟම ඥාතින් විසින්, ඒ එක්කම අපි දරුවාගෙ මනසට තරඟකාරීත්වය කියන දේත් එක්කරනවා යහමින්. මේ හැමදේම කරන්නෙ බොහෝම ආදරණීය විදියට හිතේ කිසිම කිළුටක් නොතියාගෙන වීම තමයි ඉතාමත්ම සිත්ගන්නාසුළු කරුණ වෙන්නෙ.


අපි බලමු කොහොමද මෙහෙම වෙන්නෙ කියලා.


දරුවෙක් යාන්තමට බහ තෝරන්න පටන් ගනිද්දි, අපි හරිම ලස්සනට දරුවගෙ ඔලුවට විස පුරවන්න පටන් ගන්නව. කෑම කවන්න ගන්නකොට , පුංචි පුංචි වැඩ කරන්න ගන්නකොට , අපි දරුවට තරඟකාරීත්වය කියන දේ ඔලුවට දානවා. ඒකට කොහේහරි ඉන්න තව අහින්සක දරුවෙකුත් අල්ලගන්නව මේ කිසිම දෙයක් ගැන හාංකවිසියක් වත් නොදන්න. අපි නොහිතා කරන පුංචි දේවල් වලින් වන හානිය තමා අවසානයේ මහා ව්‍යසනයක් බවට පත් වෙන්නේ.





බලමුකො ඔයාට පුලුවන් ද කියල කන්න , අහවලාට නම් පුලුවන්.


ඔයාට වඩා ලස්සනට අරයා ලියනව , කෝ බලමු ඔයාටත් පුලුවන්ද කියල


අපෝ ඔයාට බෑනෙ අරයට නම් පුලුවන් හොදට,


කෝ බලන්න මගෙ පුතා හපනා , අරයට වඩා පුලුවන් මගෙ පුතාට කරන්න,






මේ තියෙන්නෙ අපි නිතර අපේ දරුවන් වෙනුවෙන් භාවිතා කරන වැකි කීපයක්. මේවා අපි භාවිතා කරනකොට හිතේ කොනකවත් නොතිබුන හානියක් මේ වැකි වලින් අපි දරුවට කරනව. අපි අපේ දරුවව සන්සන්දනයට යොදා ගන්න අනිත් දරුවාව අපි විහින් අපේ දරුවගෙ සතුරෙක් බවට පත් කරනව. අපි අපේ දරුවගෙ යටි හිත වෛරයෙන් , ඉරිසියාවෙන්, කුහකකමින් පුරවනව. මේව අපි කරන්නෙ හරි ආදරණීය විදියට. කවදාවත්ම මේ සන්සන්දනය කිරීම කරන්න එපා. ඒකෙන් වෙන්නෙ ඔබ විහින් ඔබේ දරුවා මත හීනමානයක් ගොඩනැගීම විතරයි. දරුවෙක් කියන්නෙ දරුවෙක්ට. ඔවුන් යමක් කරන්නෙ ඔවුන්ට පුළුවන් ශක්ති ප්‍රමාණයට. ඔවුන් කරන කියන හැමදේම අගය කිරීමත් අපි කරන තවත් වරදක් , එතනදි වෙන්නෙ දරුවා තමන් ගැන ස්වයන් අභිමානයක සිටීමත් ඒ එක්කම ඔවුන්ට පරාජය දරාගන්න බැරි වීමත් පමණයි. දරුවාව අගය කලයුතු තැන්වල අගය කරන්න., එසේ නොකල යුතු තැන්වලදි ඔවුන්ව විවේචනය කරන්න , හරි වැරැද්ද පෙන්වා දෙන්න. ඔවුන් කරන කියන හැමදේම අනුමත කිරීමෙන් වලකින්න.




දරුවන් කුමක් හෝ හේතුවක් මත ඔවුනොවුන් හා දඹරකරගැනීම සාමාන්‍ය දෙයක්. මේ රංඩු පවතින්නේ බොහොම සුලු කාලයක් විතරයි. මේවා ඔවුන්ටම විසඳාගන්න ඉඩ දෙන්න වැඩිහිටියො විදියට අප ඉඩ දෙන්න ඕනෙ. මේවා බොහොම සුන්දර රංඩු, මේවට අපි මැදිහත්වීම මගින්, වෙන්නෙ මේවා දුරදිග යාම පමණයි. අනික මා දැක තිබෙන තවත් කාරණයක් තමයි දරුවෙක් කා එක්ක හෝ රංඩුවක් කරගෙන පාරක් ගුටිකාල ආවම ඒක මහ ලොකු දෙයක් කරගෙන, ඇයි ගුටිකෑවෙ ගැහුවොත් ගහන්න එපැයි කියන වචන මාලාව දරුවන්ගෙ කණේ තැබීම. මේ වචන ඔබ එලියට දාන්නෙත් ඔබේ හිතේ ආවේගයටම වෙන්න පුලුවන්, ඒත් ඒ වචන වලින් ඔබ ඔබේ දරුවාව මැරයෙක්, දාමරිකයෙක් බවට පත් කරන්න අඩිතාලම දානවා. ආයෙත් මම කියනවා දරුවෙක් කියන්නෙ දරුවෙකුට. කුඩා ප්‍රාණියෙකුට. ඔවුන්ට ඔවුන්ම වෙන්න ඉඩ දෙන්න ඔබේ විස වලින් ඔවුන්ගේ ඔලුගෙඩි පුරවන්න එපා.




අපි හැමෝම කැමති අපේ දරුවා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙනවට . ඒත් ලෝකෙ තියෙන්නෙ ඔය රස්සා දෙක විතරද ? දරුවෙක් සහජයෙන් ගේන දක්ශකම් මොන තරම් තියනවද ? ඒ දක්ශකම් වලට මේ මහ පොළොවෙ මොන තරම් නම් ඉල්ලුමක් තියනවද ? දරුවෙක්ව ගිරවෙක් කරන්න එපා. ඔවුන්ට පරිසරය හා ගැටෙන්න දෙන්න , පරිසරයෙන් ජීවය උකහා ගන්න දෙන්න. ඒ උකහා ගන්න ජීවයෙන් ඔවුන්ට වැඩෙන්න දෙන්න. ඔබ නිතරම කියන , ඕක එපා අරක එපා අනිකත් එපා, මේක කරන්න කියන වචන ඔබෙන් අයින් කරන්න. දරුවාට ඔවුන්ගේ අත්දැකීම් වලින් හැදෙන්න දෙන්න. ඔබ ඔබව ඔබේ දරුවාගෙන් දකින එක අයින් කරන්න. දරුවාගෙන් දරුවාව දකින්න.




ළමයි බඩු කඩනවා, ජරාව අල්ලනව, පස් වැලි සත්තු මේ හැමදේම අල්ලනවා. ළමයි බඩු කඩනවානම් ( ඔබේ දේවල් වටිනා කියන ) වරද ඔබේ, ඇයි ඒවා දරුවෙක්ට ඇහැ ගැටෙන්න දෙන්නෙ. දරුවෙක් ජීවත් වෙන්නෙ කුතුහලය එක්ක. ඔවුන්ට ඕනෙ මේ මොකද්ද කියන එක දැනගන්න. ඉතින් ඔවුන් ඒක බලනවා , කඩනවා, ඒ කඩන්නෙ ඒ ගැන අවභෝදයක් ගන්න. නැතුව ඔබ කේන්ති ගියාම කෑ ගහනව වගේ , විනාසම තමයි කරන්නෙ , වගේ හැගීමකින් නෙමෙයි.


අනික දරුවෙක්ට සෙල්ලම් බඩු ගෙනත් දෙන්නෙ ඒවා පෙනුමට අහුරන්න නම් අනේ ඒවා කඩේම තියෙන්න දෙන්න. ඒව ගෙනත් දෙනවනම් ඒක විනාඩියෙන්ම කැඩෙන බව ඔලුවෙ තියාගන්න. ඔවුන් ඒවා කරන්නෙ ඒකෙ ක්‍රියාවලිය ගැන දැනගන්න. දෙයක් ඉගෙනගන්න.




අත්දැකීම් කියන්නෙ දරුවෙකුගෙ ජීවිතේ අඩිතාලම.




දරුවෙක්ට වැස්සෙ තෙමෙන්නෙ දෙන්න, වැස්ස මොනවගේද කියන්න ඔවුන් දනගනීවි,


මඩේ නටන්න , පොඩි සත්තු අල්ලන්න, හිතේ ආසාව යනකල් නටන්න දෙන්න, ඔවුන් පරිසරය අදුනගනීවි, පරිසරයට ආදරය කරාවි.


වැඩිහිටියෙකුට ගරු කරන්න උගන්නන්න, ඔවුන් හා ගැටෙන්න දෙන්න, දරුවා මතු දවසක ඔබ ගැන බලාවි.


ගස් පොත්තක් ගලවා ඒ ඇතුලෙ ඉන්න කෘමි සත්තු ගැන බලන්න ඉඩ දෙන්න,


පොළොව හාරා ගැඩවිල්ලු දකින්න දෙන්න , බිංකුන්ඩො හොයන්න දෙන්න, ඔවුන් ලෝකය ගැන හොයන්න,ඉගෙනගන්න පෙළඹේවී.


ගහට කොළට පරිසරයට ආදරය කරන්න දෙන්න,


ඔවුන් පරිසරයෙන්, ජීවිතය උකහාගනීවි.


දරුවෙකුට දරුවෙක් වෙන්න දෙන්න,


ඔවුන් ලෝකයටම ආදරය කරාවි.

Comments

Popular posts from this blog

රන්ගිරි දඹුලු විහාරය

රෝමියෝ ජුලියට්

උඩරට නැටුම්