සිංහල අවුරුද්ද









සිංහල අවුරුද්ද.


මේ බක් මාසයයි. සිංහල හින්ඳු අලුත් අවුරුද්ද සමරන්නට සිංහල හින්ඳු සැවොම ලක ලෑස්ති වෙමින් සිටි. අලුත් අවුරුද්ද කියා සිංහල ජනතාව අවුරුදු සමරති. නැකත් ශාස්ත්‍රය අනුව වැඩකරති. එහෙත් බොහෝ පිරිස් අවුරුදු සමරන්නේ අවුරුද්ද යන්න කිමෙක් දැයි හරියාකාරව නොදැන බව වැටහේ. එබැවින් අවුරුද්ද යනු කිමෙක් දැයි නිසියාකාරව විමසා බලමු.


ශ්‍රී ලංකාවාසී සියලු බෞද්ධ හා හින්ඳු ජනතාවගේ මහා මංගල්‍යය වන අලුත් අවුරුද්ද විවිධ චාරිත්‍ර- වාරිත්‍ර, ආගමික විශ්වාස හා කෘෂිකාර්මික කටයුතු සමඟ බැඳුණු විශේෂ මංගල්‍යයකි. ශ්‍රී ලාංකීය බහුතරයක් බෞද්ධාගමිකයන් වන නිසා බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය ලා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කිරීමට හුරු පුරුදුව ඇත. සිංහල බෞද්ධයන් අතර බුදුදහම ප්‍රමුඛ ලා මෙම වත් පිළිවෙත් සිදු කරන අතර හින්ඳු ජනතාව හින්ඳු ආගමට අනුකූලව වත්පිළිවෙත් සිදු කරති. නමුත් බෞද්ධ හා හින්ඳු යන ආගම් දෙක එකිනෙකට බැඳී පවතින අතර විශාල පරස්පරතාවයක් නොමැති හෙයින් අවුරුදු වත් පිළිවෙත්ද බොහෝ දුරට සමාන වේ.


ග්‍රෙගරි දින දර්ශනයට අනුව, අප්‍රේල් මාසයේ එනම් බෞද්ධ දින දර්ශනයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ මොහොත යෙදෙන්නා වූ දිනය ශ්‍රී ලාංකේය ජනතාව අවුරුද්ද උදාවන දිනය ලෙස හඳුන්වති.


නමුදු මෙය නව වසර නොවේ. නව වසර යනු ග්‍රෙගරි දින දර්ශනයට එනම් බටහිර කැලැන්ඩර් ක්‍රමයට අනුව දෙසැම්බර් මස 31 වන දින මධ්‍යම රාත්‍රියේදී උදාවන නව වසරයි. සාම්ප්‍රදායික නව වසර ලෙස නක්ෂත්‍රකරුවන් හඳුන්වනු ලබන්නේ බක් මස 13 හෝ 14 යන දිනයන්ට වේ. මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන සූර්යයා වසරක් ගතවන තැන නැවත මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වේ. මෙය සූර්ය දින දර්ශනයට අනුව නක්ෂත්‍රකරුවන් හඳුන්වන්නේ අලුත් අවුරුදු උදාව ලෙසයි.


නමුදු ඇත්ත වශයෙන්ම සලකා බලන කල නව වසර යනු අලුතින් පටන් ගන්නා වසර වේ. අවුරුද්ද යනු වෙනත් අර්ථයක් යෙදේ. අවුරුද්ද යන වචනය සෑදී ඇත්තේ අවුර් සහ ඉද්ද (අවුර්+ඉද්ද= අවුරුද්ද) යන සංස්කෘත වචන දෙක සන්ධි වීමෙනි. අවුර් යනු සංස්කෘතියෙන් සූර්යයා වේ.ඉද්ද යනු මුදුන්වීමයි.එබැවින් සූර්යයා මුදුන් වීම අවුරුද්ද වේ.


බක් මස යනු හේමන්ත කාලය අවසන් වී උදා වූ වසන්ත කාලයයි.මෙම මාසය කෘෂිකාර්මික අස්වනු නෙළා අවසන් වන කාලය වන අතර සූර්යයා ශ්‍රී ලංකාවට ඍජුව ඉහළින් පිහිටන කාලය වේ. එබැවින් මෙම බක් මාසය අවුරුදු කාලය ලෙසද අස්වනු මංගල්‍යය ලෙස ද හඳුන්වනු ලබයි.


සිංහල භාෂාවෙන් මෙය "අලුත් අවුරුද්ද" ලෙස හඳුන්වනු ලබන අතර දමිළ භාෂාවෙන් මෙය "පුත්තාන්ඩු' ලෙස හඳුන්වනු ලබයි.


මෙම අලුත් අවුරුද්ද සමඟ පුරාතනයේ සිටම නොයෙක් විශ්වාස හා මතිමතාන්තර බැඳී පවතී. මිථ්‍යා විශ්වාස හා ප්‍රබන්ධ කතාවල හින්දු සාහිත්‍යයට අනුව සාමයට අධිපති "ඉන්ද්‍ර දේව" නම් කුමාරයා පොළොව වෙත සාමය හා සෞභාග්‍යය ලබාදෙයි. මෙම අවුරුදු කුමරා ධවල පැහැ රථයක නැගී ස්වේත වර්ණ මල් වලින් ගැවසුණු හත් රියනක් උස ඔටුන්නක් හිස පැළඳගෙන මහපොළොවට වැඩම කරයි. එසේ පැමිණෙන ඔහු විසින් පොළොවේ ගුරුත්වාකර්ෂණ ශක්තිය බිඳ දමා එය කිරි සයුරක ගිල්වා ගොඩට ගනු ලබන බවත් එමගින් සෞභාග්‍ය උදාවන බවත් මිථ්‍යා විශ්වාස ගැමි ජනයා තුළ පවතී.


වසන්ත සමයේ දළුලා වැඩෙන වෘක්ෂ අතර එරබදු ගසට හමු වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මෙම එරබදු ගස අලුත් අවුරුද්දේ සංකේතය වේ. එමෙන්ම කෝකිලයා හෙවත් කොවුලා ද අවුරුදු සංකේතයක් වේ. අලුත් අවුරුද්දත් එරබදු ග්සත් කෝකිලයාත්අ තර ප්‍රබල බැඳීමක් පවතී. කොවුලා ආසියාතික මහද්වීපයට උරුමකම් කියන පක්ෂියෙකු වුවත් ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂියකු නොවේ. කොවුලා යනු සංක්‍රමණික පක්ෂයකි. ඔවුන්ගේ සංවාස කාලය මාර්තු සහ අප්‍රේල් යන කාල වේ. එම කාල වකවානුවේදී ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලට පැමිණෙන මෙම කෝකිලයා කොහෝ නාදය දසඅත පතුරවා අලුත් අවුරුද්ද ළඟ බවට ජනයා ව දැනුවත් කරයි.


සැකසුම :- පියුමි ජයකලණි වික්‍රම ආරච්චි.

©️නැණස.

Comments

Popular posts from this blog

රන්ගිරි දඹුලු විහාරය

රෝමියෝ ජුලියට්

ඇම්බැක්කෙ